තෙවන ඇස

 ලෝකය පුරා සම්පත් බෙදීයාම


වර්තමානය වෙද්දි ලංකාව ඇතුළු සමස්ථ ලෝකය පුරාම සම්පත් බෙදීයාම සිද්ධ වෙන්නෙ ප්‍රමිතිගත නොවන නිර්ණායකයන් කිහිපයක් අනුවයි.


  • සම්පත් ලබා ගැනීමට ඇති වත්කම හා ශක්‍යතාව මත.
  • සම්පත් සඳහා ලබා දී ඇති වටිනාකමේ ස්වභාවය මත.
  • සම්පත් භාවිතය පිළිබඳව ඒවා භාවිතා කරන්නන් බහුතරයකට දැනුමක් නොමැති වීම.
ඕනෑම දෙයකට යම්කිසි වටිනාකමක් ලබාදීලා තියෙනවා.සම්පත් වලටත් එසේමයි.නමුත් ඒ වටිනාකම බොහෝවිට මුදල මත තීරණය වෙන්නෙ.ඒ සම්පත් හරහා යම්කිසි කෙනෙකුට ලබාගත හැකි,ලබාදිය හැකි සේවයේ තිබෙන වපසරිය අනුව නෙමෙයි.
මෙම නිර්ණායකයන් නිසා සම්පත් බොහෝවිට අවභාවිතා වීම දැකගන්න පුළුවන්.
හුදෙක් වත්කම පෙන්වීමේ ආභරණයක් විදියටයි සම්පත් භාවිතා වෙන්නෙ.උදාහරණයක් විදියට (ඊර්ෂ්යාවකින් හෝ අපහාසයකට නොවේ.)නවතම
iphone දුරකථනය බොහෝ අය තබාගෙන ඉන්නෙ තම වත්කම පෙන්වීමේ ආභරණයක් විදියට පමණයි.නමුත් එහි තිබෙන නවීන පහසුකම්(features) පිළිබඳ හෝ ඒවා භාවිතා කිරිම පිළිබඳව හෝ දැනුමක් බොහෝ අයට නැති තරම්.


බලන්න, මේ ගානා කීයන රටේ පරිගනක සම්බන්ධයෙන් උගන්වන ගුරුවරයෙක්.මොහු තම ශිෂ්‍යයින්ට මයික්‍රොසොෆ්ට් වර්ඩ් ගැන උගන්වන්නේ කලු ලෑල්ලේ අඳින ලද රූප සටහන් වලින්.ඒ මේ පාසලේ දරුවන්ට ‌පරිගනක නැති නිසාවෙන්.

කොහොම වුණත් මේ පුවත දැකපු බොහෝ පාර්ශවයන් මොවුන්ට උපකාර කරලා තිබෙනවා.

ගැටලුව තිබෙන්නෙ සම්පත්වල ප්‍රයෝජනය පූර්ණ වශයෙන්ම ලබාගත නොහැකි වුවත් ඒවා ලබාගැනීමට වත්කම තිබෙන අයට සම්පත් බෙදීයාම නොවේ.ඒවා පිළිබඳව හැදෑරීමට උනන්දුවක් තිබෙන,ඒවා භාවිතය පිළිබඳව දැනුමක් තිබෙන,ඒ තුළින් යම්කිසි බලපෑමක්/සේවාවක් සමාජයට සිදු කරන්න පුළුවන් පුද්ගලයින්ට සම්පත් බෙදී නොයෑමයි.
ලෝකය පුරා සම්පත් බෙදී යාමක් නොව බහුතරයක් සම්පත් අපතේ යාමක් සිදුවන බවක් හඳුනාගන්නත් පුළුවනි.







ජන මාධ්‍ය විසින් සමාජ මාධ්‍ය තොරතුරු වක්‍රාකාරයෙන් විවේචනය කරනවාද? (ජන මාධ්‍යයන්ට සාපේක්ෂව සමාජ මාධ්‍ය තුළ පවතින සුවිශේෂීතාව)



ජන මාධ්‍ය විසින් සමාජ මාධ්‍ය විවේචනයට ලක්වනවාද? ඔව්..නමුත් ඇයි? අපි විමසා බලමු. ලංකාව තුළ සමාජ මාධ්‍ය භාවිතය පරිශීලකයින් මිලියන 6.4 ඉක්මවනවා. මේ තත්ත්වය ජන මාධ්‍යයන්ගේ පැවැත්මට තර්ජනයක්ද? ම්ම්ම්.. නව ලෝකයට අනුගත නොවී සම්ප්‍රදායිකබවෙන් නොමිදෙන ජන මාධ්‍යයන්ට ? ඔව් අනිවාර්යයෙන්ම තර්ජනයක්.ලංකාවේ ඇතැම් ජන මාධ්‍යය විසින් (විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍යය සමාජ මාධ්‍යය විවේචනය කරනු ලබනවා.ජන මාධ්‍යය වාර්තාකරණයේදී භාවිතා කරන

"සමාජ මාධ්‍ය තුළ පැතිරී යන අසත්‍ය ප්‍රතිචාර" ,
"වගකීමෙන් තොර සමාජ මාධ්‍ය භාවිතය" ,
"සමාජ ජාල තුළ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයින් අත් අඩංගුවට"

ආදී වූ නේකවිධ පුනරුච්චාරණයන් මඟින් ඔවුන් වක්‍රව යමක් බලාපොරොත්තු වනවාද? "අසත්‍ය,වගකීමෙන් තොර" ආදී වූ පැහැදිලි කිරීම් ඔස්සේ ඔවුන් බලාපොරොත්තු වන්නේ ඒ්වා භාවිතා කිරීමට පෙළඹෙන පරිශීලකයින් හට සමාජ මාධ්‍ය පිළිබඳව සෘණෘත්මක ආකල්පයක්,අවිශ්වාසයක් ඇති කරමින් ග්‍රාහකයාගේ දෘෂ්ටිය බිඳිමින් ආයතනික දෘෂ්ටිය වැපිරීමටද ? එක්තරා ආකාරයකින් එය ඉතාම පටු,අදූරදර්ශී ආකල්පයක්.ඇතැම් මාධ්‍ය ආයතන ගෝලීයකරණයේ යතාර්ථයට අනුමත වෙමින්,අනුගත වෙමින් නව්‍යකරණයට ප්‍රවේශ වුවද ආචීර්ණකල්පිතයන්ගේ ග්‍රහණයට නතු වූද,මාධ්‍ය අභියෝග ජය ගැනීමට නොහැකි වූ ද අතලොස්සක් ජන මාධ්‍ යසිය විවේචනාත්මක,පටු දෘෂ්ටිකෝණය ග්‍රාහක,ප්‍රේක්ෂක ප්‍රජාව තුළද රෝපණය කිරීමට වෙර දරනවා.ජන මාධ්‍ය එලෙස කටයුතු කරන්නේ ඇයි?
1. ජන මාධ්‍ය තුළින් අත්විඳිය නොහැකි සුවිශේෂී තොරතුරු අවකාශයකට සමාජ මාධ්‍ය වෙත පිවිසෙන පරීශීලකයාට අවස්ථාව ලැබීම නිසා ජනතාව ජන මාධ්‍යයන්ට සාපේක්ෂව සමාජ මාධ්‍ය වෙත යොමු විමේ නව ප්‍රවණතාව.
අනිවාර්යයෙන්ම,ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය යනු දෙයාකාර වූ වේදිකාවන්ගෙන් (Different platform) යුතු කොටස් දෙකක්. නමුත් ඒවායේ මෙම "platforms" ස්වභාවයන්ම එකිනෙකාට බලපෑම් කිරීමට තරම් සමත් වෙනවා. ගෝලීයකරණ සංකල්පයත් සමඟ ලෝකයට විවර වූ සමාජ මාධ්‍ය ‌තාක්ෂණය තුළ සැරිසරන පරිශීලකයා හුදෙක්ම එක් පරිශීලයෙකු බවට පත් වූවා නම් නිසැකයෙන්ම එය පරිශීලකයා තුළ සමාජ මාධ්‍ය භාවිතයේදී අලස බවක් වර්ධනය කරන්නට තුඩු දේ.එහෙයින් එහිදී පරිශීලකයා හුදු ග්‍රාහකයෙක් නොකර විවිධාකාර වූ සන්නිවේදන ප්‍රවේශයන්ගෙන් සන්තර්පණය වන්නා වූ පරිපූර්ණ හා සක්‍රීය සන්නිවේදකයෙකු බවට පත් කිරීමට සමාජ මාධ්‍ය විසින් වග බලාගන්නවා.එමෙන්ම සමාජ මාධ්‍යන් තුළින් ඉදිරිපත් වන තොරතුරු වල,

  • ක්ෂණික බව,
  • මාධ්‍ය ආයතනයන්හි දෘෂ්ටිකෝණයන්ගෙන් නිදහස් වූ,
  • සංස්කරණය නොකළ,විධිමත් දොරටුපාලනයකට යටත් නොවූ,
  • සවිස්තරාත්මක බවින් යුතු,
  • ඕනෑම අවස්ථාවක නැවත නැවත කියවීමේ හැකියාව
ආදී විවිධාකාර සුවිශේෂීත්වයන් හේතුවෙන් පරිශීලක ආකර්ෂණය නිරායාසයෙන් ලබා ගැනීම නිසා ජන මාධ්‍ය මෙවැනි අවස්ථාවන් වල කෙමෙන් ප්‍රතික්ෂේපිත වන බව පැහැදිලියි.නමුත් ජන මාධ්‍ය වලින් ඉදිරිපත් වන තොරතුරු වල විශ්වසනීයත්වය ඇති බව ඔබට සිතෙනවා ඇති.එසේනම් ඔබ ඇයි ජන මාධ්‍ය තුළින් ඉදිරිපත් වන තොරතුර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළින්ද විමසීමට යොමු වන්නේ? ඒ වැඩිදුර විස්තරයක් ලබා ගැනීමට,තොරතුර තහවුරු කරගැනීමට,නැවත එම තොරතුර ශ්‍රවණයට ආදී වූ හේතූන් ඔබ ඉදිරිපත් කිරීමට පිළිවන.එසේ නම් ඔබ එලෙසින් සිදු කරනුයේ "ජන මාධ්‍ය තුළින් ඔබේ තොරතුරු අවශ්‍යතාවය නිසියාකාරයෙන් නොසංසිඳුවන බැවිනි" යන්න මගේ තර්කයයි.මේ හේතුවන් තම රාමුවෙන් පිටතට යන ග්‍රාහකයා ආයතනය කෙරෙහි රඳවා තබා ගැනිමට ජන මාධ්‍ය ආයතනයන්ට සිදු වේ. බොහෝවිට සමාජ මාධ්‍යන්ගෙන් පරිශීලකයා දකින තොරතුරු ජන මාධ්‍ය කෙසේ වාර්තා කරන්නේ දැයි යන්න පිළිබඳවද ග්‍රාහක ප්‍රජාව අවධානයෙන් සිටී.එවැනි අවස්ථාවක තුලනය නොවන පක්ෂග්‍රාහී,දැඩිව දොරටුපාලනයකට ලක් වූ තොරතුරු ඉදිරිපත් කරන්නේ නම් අදාළ ජන මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව නිර්ණායකයක් තමා තුළ ඇති කරගැනීමටත් එම වාර්තාකරණය ස්වයං වර්ජනයකට නිසි මාධ්‍ය අධ්‍යාපනයක්,සාක්ෂරතාවයක් ඇති පුද්ගලයා යොමු වේ. ඔව්.සැබැවින්ම වර්තමානය වන විට ජන මාධ්‍ය පරිශීලකයා ක්‍රමයෙන් මාධ්‍ය සාක්ෂරතාවකින් යුතු පුද්ගලයෙකු බවට පත් වෙමින් සිටී.ඊට හේතු වී ඇත්තේ ගෝලීයකරණය සමඟ ඇති වූ සන්නිවේදන ප්‍රවණතාවන් හා අධ්‍යාපනයයි.ඒ නිසාවෙන් ජන මාධ්‍යන් විසින් තම ග්‍රාහකයා තවදුරටත් රැවටීමට කටයුතු නොකළ යුතුය.

2. සමාජ මාධ්‍ය තුළින් ජනමාධ්‍යන්ට වඩා සුවිශේෂී වූ දැන්වීම්කරණයකට අවකාශ විවර වීම නිසා ජන මාධ්‍යන්ට තම වෙළඳ ඉලක්කයන් කරා ළඟා වීමට බාධා ඇති වීම.

බහුතරය ජන මාධ්‍යන්හි මූලික පරමාර්ථය ලාභ ඉපයීම වන අතර ඒ් සඳහා ඔවුන්ට අත්‍යවශ්‍ය ප්‍රජාව වන්නේ අනුග්‍රාහකයායි.අනුග්‍රාහකයින් තම වෙළඳ දැන්වීම් ප්‍රචාරණයට බෙහෙවින් යොදාගනු ලබන්නේ වැඩි ග්‍රාහක සංඛ්‍යාවක් සිටින ජන මාධ්‍ය ආයතන වේ.එම අවස්ථාවේදී ග්‍රාහක සංඛ්‍යාව ඉහළ නංවාගැනීඹ උදෙසා ජන මාධ්‍ය අතර විශෘල තරඟකාරීත්වයක් ගොඩ නැගෙන අතර ඊට මුහුණ දීම සඳහා ඔවුන් තම මාධ්‍ය පරිශීලනය කරනු ලබන ග්‍රාහක ප්‍රජාවට මුදල් ත්යාග,කුසපත් ඇදීම,භාණ්ඩ ලබා දීම ආදිය සිදු කරනු ලබයි.ඒ ආකාරයෙන් ග්රාහක රුචිකත්වය මුදලට විකිණෙන අවස්ථාවන් ඕනෑ තරම් පවතී.කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ලෝකය පුරා පැතිරී යාම තුළ ඒ ඔස්සේ වෙළඳ ප්‍රජාවට විවිධාකාර වූ සුවිශේෂී දැන්වීම්කරණයකට අවස්ථාව හිමි විය.ජන මාධ්‍යන්ට අනුග්‍රාහක ආයතනයන්ගෙන් "කුඩම්මාගේ සැලකිලි" හිමිවීම තවදුරටත් තී‍ව්‍ර විය. ඇත්තෙන්ම එය අතිශෝක්තියක් නොවේ.ජන මාධ්‍යන්ගෙන් ඉදිරිපත් නොවූ විරූ ආකාරයේ දැන්වීම්කරණ පැකේජයන් රාශියක් සමාජ මාධ්‍ය තුළින් පාරිභෝගිකයාට (වෙළඳ ආයතනයන්ට) පිරිනැමීමට සමත් වී තිබෙනවා.

ඇතැම්විට ඔබ නොදන්නවා විය හැකියි.සමාජ මාධ්‍ය විසින් ඔබේ පෞද්ගලික දත්ත පරිශීලනය කරනු ලබනවා.විශේෂයෙන්ම ඔබගේ රුචිකත්වය පිළිබඳව හැදෑරීමට ඔවුන් දක්වන්නේ ද මහත් රුචිකත්වයක්.මන්ද යත් සිය පාරිභෝගිකයා වන වෙළඳ ප්‍රජාවට උචිතම ග්‍රාහකයා ලබා දීමට ඔවුන් කටයුතු කරනවා.එහිදී ඔබ like කරනු ලබන,comment ,share කරනු ලබන,ඔබ නැරඹූ,subscribe කළ හා සෙවූ සියලුම දේවල් පිළිබඳව සංඛ්‍යාත්මක දත්ත සමාජ මාධ්‍්‍ය ආයතන ලබාගෙන ඊට ගැළපෙන වෙළඳ දැන්වීම් අපගේ දුරකථනයේ හෝ පරිඝනකයේ තිරය මතට ගෙන එනු ලබනවා.අපගේ විනෝදාංශයේ පටන් සමාජ මාධ්‍ය අධිකාරිත්වය විසින් හඳුනාගනීී.පරිශීලක රුචිකත්වයන්ට අමතරව වෙළඳ ආයතනය බලාපොරොත්තු වන පාරිභෝගික ප්‍රජාවේ වයස් මට්ටම,දැන්වීම ප්‍රදර්ශනය විය යුතු භූගෝලීය සීමාව,ලිංගිකත්වය(ගැහැණුු පාර්ශවය/පිරිමි), ආදියද සැළකිල්ලට ගනිමින් ඉතාම නිවැරදි වූත්,වඩාත්ම ගැලපෙන වෙළඳ අවශ්‍යතාවන්ගෙන් යුතු ග්‍රාහකයන්ට ඉලක්කගත වූත් දැන්විම්කරණයකට අවකාශය සමාජ මාධ්‍ය මඟින් ලබා දී ඇත.එනම් වෙළඳ ආයතනයන්ගේ අවශ්‍යතාවයට අනුව ඔවුන් වෙත "මනාව පෙරාගත් හා ඉලක්කගත පාරිභෝගික ප්‍රජාවක්(clearly filtered and targeted customer base)" ඉදිරිපත් කිරීමට හැකියාව සමාජ මාධ්‍ය සතු වී ඇත.ඔබටද ඔබගේ භාණ්ඩය හෝ සේවාව විකිණීම සඳහා දැන්වීමක් පළ කරගත හැකිය.ඕනෑම ඉතාම කුඩා ව්‍යාපාර හිමියාට පවා ගැළපෙන ලෙසින් සමාජ මාධ්‍ය තුළ වෙළඳමය හැසිරීමට අවකාශ සලසා ඇත.එවැනි පසුබිමක් හමුවේ ජන මාධ්යයන්ට විශාල බලපෑමක් එල්ල වීම වැළැක්විය නොහැකි තත්වයක් වෙනවා.ඇතැම් මාධ්‍යයන් මීට හොඳින් මුහුණ දෙමින් සිය මාධ්‍ය තාක්ෂණය සමාජ මාධ්‍යන් හරහාද ව්‍යාප්ත කිරීමට උත්සුක වීම ද දැකගත හැකිය.නමුත් අතලොස්සක් මෙම හේතුවත් තවත් හේතූන් කිහිපයකුත් නිසාවෙන් සමාජ මාධ්‍ය වර්ජනයට සිය ග්‍රාහකයාව යොමු කරයි.
3. ජන මාධ්‍ය ආයතනික දෘෂ්ටිකෝණය ජනතාව තුළ රෝපණය කිරීමට ඇති ඉඩ ප්‍රස්තාව ඇහිරී යාම.
ජන මාධ්‍යයන් සෑම විටෙකම එක් දේශපාලනික මතයක් දරන අතර ඒ ඔස්සේ තොරතුරු වාර්තාකරණය සිදු කරයි.එහෙයින් ජන මාධ්‍ය බොහෝවිට පක්ෂග්‍රාහී බවකින් යුතුව තොරතුරු ඉදිරිපත් කරනවා.මෙම තීරණය ජන මාධ්‍යයන්ගේ පැවැත්මට බෙහෙවින්ම බලපානු ලබනවා.ඕනෑම රජයක් විසින් තම දේශපාලන ක්‍රියාකාරීත්වය විවේචනය කරනු ලබන මාධ්‍ය ආයතනයන්ට,
  • බදු පැනවීම,
  • ඒවායේ පාලනාධිකාරියට බලපෑම් කිරීම,
  • ආයතනික බලපත්ර නිකුත් කිරීම
හා තවත් ක්‍රමවේදයන් ඔස්සේ මාධ්‍ය මර්දනයට කටයුතු කරනු ලබන අතර රජය වෙනුවෙන් පෙනී සිටින, රජයට පක්ෂපාතී ලෙස වාර්තාකරණයේ යෙදෙන ජන මාධ්‍ය ආයතන වෙනුවෙන් විවිධ ප්‍රතිලාභ,වරප්‍රසාද ආදිය ලබා දේ.රජයෙන් නිකුත් කරන ප්‍රවෘත්ති ප්‍රථමයෙන්ම ඉදිරිපත් කිරීමට හා රජයේ දැන්වීම් ප්‍රචාරණයට අවස්ථාව ලබා දීම,ආයතන බදු සහන ලබා දීම ආදිය ඒවායෙන් කිහිපයක්.කෙසේ හෝ වේවා දේශපාලන පාර්ශවයක් උදෙසා පක්ෂග්‍රාහීව කටයුතු කිරීම මාධ්‍ය ආයතනයන්ට ස්වයං නීතියක් හෝ ප්‍රතිපත්තියක් වැනිය.ඒ ඔස්සේ තොරතුරු වාර්තාකරණයෙන් මාධ්‍ය ආයතන සූක්ෂමව සිය දේශපාලන මතය ග්‍රාහක ප්‍රජාවගේ මනස තුළට කාවැද්දීමටත් ස්වාධීන වූ ග්‍රාහකයාගේ දෘෂ්ටිය බිඳ දමා අදාළ මාධ්‍ය ආයතනයේ දෘෂ්ටිකෝණය සහිත මනෝ රාමුවට ග්‍රාහකයා යොමු කරනු ලබයි.ග්‍රාහකයාගේ ආකල්පමය හා චර්යාමය පාලනය හසුරුවන්නේ ජන මාධ්‍ය තුළිනි.එහිදී නොදැනුවත්වම ග්‍රාහකයා අදාළ මාධ්‍ය ආයතනයේ නිළ නොලත් නියෝජිතයෙකු ලෙස එම ආයතනික දර්ශනය අවස්ථාවක් ලද සෑම මොහොතකම සමාජය තුළ වපුරවයි.

එමෙන්ම යම් සිදුවීමක් පිළීබඳව විමසන ජනතාවට මාධ්‍ය විසින් ස්වකීය දෘෂ්ටිකෝණය ඔස්සේ ඉදිරිපත් කරන ආකාරයෙන් තොරතුර ග්‍රහණය කරගැනීමට සිදුවේ. කෙසේ නමුත් සමාජ මාධ්‍යය ව්‍යාප්තිය නිසාවෙන් ජන මාධ්‍යයන්ගේ මෙම ක්‍රියාපිළිවෙතට ද දැඩි පහරක් එල්ල වෙමින් පවතිනවා.යම් සිදුවීමක් සත්‍්‍ය,සංස්කරණය නොවුන සැබෑ ස්වරූපයෙන්ම දැනගැනීමේ හැකියාවක් ඒ ඔස්සේ පරිශීලකයාට හැකි වන අතර ‌මේ නිසාවෙන් ජන මාධ්‍යයන්ටද ග්‍රාහක ප්‍රජාවට සත්‍ය තොරතුරු ඉරිදිපත් කිරීමට සිදුවේ.සමාජ මාධ්‍ය තොරතුරු වාර්තාකරණය නිසාවෙන් පරිශීලකයා සංසන්දනාත්මකව හා විශ්ලේෂණාත්මකව තොරතුරු විමර්ශනය කරනු ලබන අතර ඒ ඔස්සේ ඔවුන්ගේ ස්වාධීනත්වය වර්ධනය වේ. එමෙන්ම ඇතැම් විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වන(viral news) සිදුවීම් ජන මාධ්ය වෙතට එළඹෙන්නේද ඉන් පසුවයි.මේ හේතුව නිසාවෙන් පෙර සඳහන් කළ පරිදි අතලොස්සක් ජන මාධ්‍ය සිය ග්‍රාහකයාට සමාජ මාධ්‍ය අවිශ්වාස කරවීමේ නිරර්ථක උත්සහයක නිරත වේ.

මෙම තත්ත්වයට මෙම හේතූන් ඇතුළු යම් යම් පෞද්ගලික කරුණු ද බලපාන අතර කෙසේ හෝ වේවා තම ආයතනික අරමුණු ඉටු කරගැනීමේදී මුහුණ දීමට සිදු වන මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නේ නම් ආයතනික අභිවෘද්ධිය උදෙසා නවීන සන්නිවේදන තාක්ෂණය සමඟ අත්වැල් බැඳගැනීමට අදාළ ආයතනයන් වගබලා ගත යුතු වෙනවා.



Post a Comment

0 Comments