ඔබේ දිවියට

අත්දැකීම් වල වටිනාකම



මෙලොව වඩාත්ම වටිනාකමින් යුතු දේවල් මොනවාද? ' යනුවෙන් යමෙකුගෙන් ප්‍රශ්න කළේ නම් විවිධ පිළිතුරු ලැබෙනු ඇත.

බොහොමයක් ස්පර්ශීය වූ වස්තූන් වන මුදල්,දේපළ,රත්රන් ආදිය වීම නොඅනුමානය.
එනමුත් සතුට,ආදරය,මිත්රත්වය, අභිමානය ආදී අස්පර්ශීය සාධක මිල කළ නොහැකි තරම් ය. "අත්දැකීම්" යනු මෙකී අස්පර්ශීය සාධක විශාල ප්රමාණයකින් සමන්විත පැකේජයක් යනුවෙන් හැඳින්වීම අතිශෝක්තියක් නොවේ.
අත්දැකීම් යනු පිපාසයකි.
උපතේ සිට මරණය දක්වා හැඟීම්,දැනීම්,ආශාවන් සහ අනෙකුත් මනෝමූලික තත්ත්වයන් මෙන් ම සමාජය සමග ගැටෙමින්,වැටෙමින්,නැගිටිමින් ගොඩනගන චරිතය තුළින් එකී පිපාසාව විටෙන් විට සංසිඳුවා ගනී.
අත්දැකීම් යනු සමස්ත සත්ත්ව සංහතියට ම පරිණාමකරණය වීම සඳහා ම හේතු වන මුඛ්ය සාධකයකි. කුඩා පැළයක් පස,ජලය,හිරු එළිය,පොහොර ආදිය අනුසාරයෙන් මහා වෘක්ෂයක් බවට පත් වන්නේ යම්​ සේ ද, විවිධාකාර අත්දැකීම් වලින් පෝෂණය වන පුද්ගලයා සමස්ථ සමාජයේ මහත් පිළිගැනීමක් ලබන පුද්ගලයෙකු වන්නේ ද එසේය.
වයස යනු 'අත්දැකීම් මනිනා වූ මිනුම් දණ්ඩක්' ලෙසට සාමාන්යය ජන සමාජය තුළ අවබෝධයක් පවතී.
ඒ ඔස්සේ "වයසට ගරු කිරීම" යන කියමන තුළින් ගම්ය වන්නේ කාලයා හා සමාජය සමග ගැටෙමින්, නේකවිධ අත්දැකීම් ලබන පුද්ගලයා වැඩිහිටියෙකු වන්නේ අත්දැකීම් වලින් සංයුක්ත මිනිසෙකු ලෙසින්' ය යන අදහසයි.
අත්දැකීම දුෂ්කර හෝ සුන්දර වේවා සෑම අත්දැකීමක් ම පුද්ගලයා විසින් තමාව ම ගවේෂණය කරගැනීමේ දී සොයා ගන්නා වටිනා නිධානයක් වැන්න.





ගැටුම (රණ්ඩුව/දබරය/අමනාපය) තුළින් අත්වන වාසිදායක තත්වයන්

ගැටුම් ඇතිවීම ස්වභාවික දෙයක්.ඒ තුළින් අයහපත් මෙන්ම යහපත් තත්වයන් ද ඇතිවෙනවා.සාමාන්යයෙන් අවධානය යොමු නොවන ගැටුමක යහපත් තත්වයන් පිළිබඳව කෙටියෙන් සඳහන් කරන්නම්.

ගැටුමක්, රණ්ඩුවක් හෝ දබරය හෝ අමනාපයක් ඇති වීමට මූලික වශයෙන්ම බලපාන්නේ එකිනෙකට ප්රතිවිරුද්ධ මතයන් දෙකක් එකට ගැටීමයි.ගැටුම බොහෝ විට පාර්ශව දෙකක් අතර හට ගනී. මාක්ස්වාදයට අනුව සමාජයේ විකාශනයට ගැටුම අතිශය වැදගත් සාධකයක්.


ගැටුමකින් උදාවෙන වාසිදායක තත්වයන්,
1. එකිනෙකාගේ සීමාවන් පිළිබඳව දෙපාර්ශවයටම අවබෝධයක් ලබාගත හැකිය.
2. එකිනෙකාගේ ආකල්ප හා රුචි අරුචිකම් පිළිබඳව අන්යෝන්ය අවබෝධයක් ලැබේ.
3. දීර්ඝකාලීන වශයෙන් එකතු වූ ආවේගයන්,මානසික පීඩනයන් මුදා හැරීම නිසා මානසික සහනය ලැබීම.
4. තම මතයෙහි ඇති දුර්වලතා පිළිබඳව අනෙකාගේ දෘෂ්ටිකෝණයෙන් විවරණයක් ලබා ගැනීමට හැකි වීම.
5. එකිනෙකාගේ මතයන්හි ඇති වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලැබීම.
6. සැබෑ පුද්ගල ප්රතිරූපයන් ඉදිරිපත් වීම.
ප්රධාන වශයෙන්ම මෙහිදී එකිනෙකා පිළිබඳ අන්යෝන්ය අවබෝධයක් ලැබීමට අවස්ථාව උදාවේ.
ගැටුම තුළ සිදුවිය යුත්තේ ඒකාන්තයෙන්ම තම මතය හෝ ආකල්පය නිවැරදි'යි යන්න සනාථ කිරීමට උත්සාහ දැරීම නොව නිවරද්ය වූ සාක්ෂීන් සමූහයක් ඔස්සේ ගොඩනඟාගත් දෙපාර්ශවයේම ආකල්පයන් පිළිබඳව විශ්ලේෂණාත්මක දෘෂ්ටිකෝණයකින් විමසීම තුළින් ද්විපාර්ශ්වීය වශයෙන් තුල්ය වූ සමථයකට පත්වීමයි.


 ප්‍රශ්නය අනුන්ගේ වන තාක් පිළිතුර දාර්ශනික වීම වරදක් ද?


ඔබට ගැටලුවක්, දුකක් හෝ වෙනත් ආකාරයක තනිව සාර්ථක තීරණයක් ගත නොහැකි අවස්ථාවක ඔබ කුමක්ද කරන්නේ?

බොහෝ දෙනා තම සමීපතම පුද්ගලයෙකු සමග ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. ඉන්පසුව නිවැරදි තීරණයකට, මතයකට හෝ අදහසකට එළැඹීමට යොමුවෙනවා. සාමාන්යයෙන් මනෝ විද්යානුකූලව ගැටලුවක්, අර්බුදයක්, දුකක් ඇති වූ විට පුද්ගලයකුගේ නිවැරදි තීරණ ගැනීමේ ශක්යතාවය තාවකාලිකව අහිමි වනවා. යම් පුද්ගලයෙක් මෙවැනි අවස්ථාවක තීරණයක් ගත් විට බොහෝවිට එම තීරණය ක්ෂණික සහ එම අවස්ථාවේ දැනුණ හැඟීම් අනුව ගත් දුර්වල තීරණයක් විය හැකිය. මීට බලපාන්නේ එම පුද්ගලයාගේ කලබලකාරී, නොසන්සුන්කාරී, සංවේදී, ආවේගාත්මක චිත්ත තත්වයන් වේ.
එනිසාවෙනුයි අප බොහෝ දෙනා බොහෝ විට ඒ ආකාරයේ අවස්ථාවකට මුහුණ නොපා සිටින, චිත්තවේගික වශයෙන් ස්ථායි පුද්ගලයකුගෙන් උපදෙස්, අදහස්,අනුශාසනා හෝ මග පෙන්වීම් බලාපොරොත්තු වන්නේ.


 ඒක රහසක් 🤫


අප යමක් වසන් කිරීමට වෙර දරන විට ඒ දෙස අවධානයෙන් බලන්නෙකුට අපගේ චර්යාව කුතුහලය දනවන සුළුය.
උදාහරණයක් ලෙස: සිතන්න ඔබ කාමර දහයක් ඇති නිවසක සිටිනවා යැයි කියා.එහි එක කාමරයක හැර අනෙක් සෑම කාමරයකම දොරවල් විවෘතව පවතින විට දොර වසා පවතින කාම⁣රයේ එය වසා ඇත්තේ ඇයි දැයි සොයා බැලීමට ඔබට කුතුහලයක් ඇති වේ..
නැතිනම් සැමවිටම අගුලු නොදා විවෘතව ඇති ඔබේ නිවසේ ශීතකරණය එක්වරම අගුලු ලා තිබුනහොත් ඔබට එය අගුලු දමා ඇත්තේ ඇයි දැයි විමසීමට සිතේ..
එසේ නම් අප යමක් වසන් කිරීමට වෙර දරන විට දක්වන්නා වූ චර්යාවන් නිසාවෙන්ම එය පිටතට පෙනීමට වැඩි ඉඩකඩක් පවතී.මේ ගැනත් මඳක් සිතන්න.



විහිලු කරන එකත් ලේසි පහසු වැඩක් නෙවෙයි.


“අයියෝ උඹ සීරාවට ගත්තද ඒක? මම විහිලුවට කිව්වේ ඒක”
මේක අහලා පුරුදුයිද ? නැතිනම් කියලා පුරුදුයිද? බොහෝදුරට ඔබට මේ දෙයාකාරයම හුරු ඇති.
වචන යනු ඔබත් මමත් සතු ඉතාමත් බලගතු මන්ත්රයක් වැනිය.එහි අකුරක් හෝ වැරදුනහොත් එමගින් විශාල හානියක් සිදු වීමට ඉඩ ඇත.වචන නැමැති මන්ත්රානුසාරයෙන් අප මතුරන තවත් ඉතාම වැදගත් දෙයක් විහිලුව ඒසේත් නැති නම් සරදම.වචනයෙන් පමණක් නොව චර්යාමය ස්වභාවයෙන් ද එය ඉදිරිපත් කෙරේ.කෙසේවෙතත් බොහෝවිට ඔබ යමෙකුට සරදමක් කරන්නේ ඒ මොහොතේ ඇති වන හැඟීමක් හෝ සිතිවිල්ලක් හෝ සිදුවීමක් මූලික කරගෙන වුවද ඇතැම් විට එම සරදමට ලක්වන තැනැත්තා එමගින් සිත්තැවුලට හෝ අමනාපයට හෝ ඔබට ජීවිත කාලයේම ඔබට වෛර කිරීමට හෝ ඒ මොහොතේම ඔබව ඝාතනය කිරීමට වුවද පෙළෙඹීමට පිළිවන.(යාලුවොන්ව මතක් වෙනවා නේද😄)

විහිලුවක් කිරීමේදී සිතා බැලිය යුතු කරුණු කීපයක් ගැන කියන්නම්
• ඔබේ විහිලුව ස්ථානෝචිත හා අවස්ථානුචිත ද යන්න.
• විහිලුවෙන් සිදු විය හැකි බලපෑම කෙසේ දැයි තක්සේරු කිරීම.
(එය අවසන් විය යුත්තේ විරසකයකින් නොවන බව)
• ඔබේ විහිලුව තුළින් අනෙකාගේ පෞද්ගලික කරුණු ඔස්සේ සිදු කරන්නේ නම් ඒ පිළිබඳව දෙවරක් සිතන්න .
• විහිලුවට ලක්වන්නා තුළ ඒ මොහොතේ තිබෙන මානසික තත්ත්වය.
• ඒ සඳහා භාවිතා කරන භාෂා භාවිතය හා උපක්රමයන් මෙන්ම එහි සැබෑ අන්තර්ගතය කෙසේදැ’යි යන්න.
• සරදම් කරන්නා හා සරදමට ලක්වන්නා අතර ඇති සමාජමය බැඳීමේ ස්වභාවය.
(ඥාතීත්වය,සමාජ තරාතිරම,වයස් මට්ටම,සංස්කෘතිකමය කාරණා)
මීට අමතරව යමෙකු සිදුකරන විහිලුව හෝ සරදමක් තුළින් එය සිදුකරන්නාගේ චරිත ස්වභාවය,ආකල්ප, ශිෂ්ටත්වය,රුචිකත්වයන්,මානසිකත්ව මට්ටම්,සාදාචාරාත්මක බව,බුද්ධි මට්ටම ආදිය මූලික වූ පුද්ගල හැඳින්වීමක් ලබා ගැනීමට අන්‍යයන්ට හැකියාව ලැබේ.


Post a Comment

0 Comments